Thursday, June 26, 2014

ප්‍රජනන lesson 18


අපි ඇවිල්ලා ක්ෂීරපායී සත්තුනෙ.ක්ෂීරපායී කිව්වම අපි අමුම අමු ක්ෂීරපායී.ඒකනෙ මැරෙනකම්ම කිරි බොන්නේ.මම මේ කියන්ඩ හදන්නේ ඔය කිරි හදන ෆැක්ටරි එක ගැනයි.මේක 18+ කියලා වර්ග කරන්ඩ මම කැමති නෑ.මොකද මේවා හැමෝම 
දැනගන්ඩ ඕනෙ කියලයි මමනං හිතන්නේ.හැබැයි කියවන්ඩ ලැජ්ජා වගේ නං 
කියවන්ඩ එපා ඕං.මම තරහ නෑ.



ක්ෂීරපායී ගැහැනු සත්තුංගේ උර හෝ උදර ප්‍රදේශයේ ස්ථන ග්‍රන්ථි ඒකරාශී වෙලා තියෙන ස්ථාන තියෙනවා.මිනිස් සතාගේ උරස ප්‍රදේශයේ දෙපස ස්ථාන දෙකක්.ඒකට අපි කියනවා පියොයුරු කියලා.

පහිය + උර = පියයුර

 වෙනවා කියලා තමයි මට හිතුනේ.වයසට යද්දි මේක පයෝදර වෙනවා.
  ( පහිය + උදර )

වැඩිවිය පැමිණියාට පස්සේ දිගටම අර්ධ ගෝලාකාර පියයුරු තියෙන්නේ මිනිස් සතාට විතරයි.අනිත් සත්තුන්ගේ පියයුරු වර්ධනය වෙන්නේ කිරිදෙන කාලයට විතරයි.කිරිදෙන එක නවත්තලා දාපුවාම ආයෙත් ප්‍රමාණයෙන් ක්ෂය වෙලා යනවලු.මේ තත්ත්වය අනෙකුත් වානර ගෝත්‍රවලට පවා පොදුයි කියලයි කියන්නේ.


මේක තමයි සාමාන්‍ය පියයුරක හැඩය.ඔයිට අමතරව ඉතිං බුබ්බුලාකාර, ඝණ්ඨාකාර, ආමලාකාර, ඝටාකාර වගේ හැඩවලට ඒවා තිබුණට ගොඩක් ඒවා කෘත්‍රිමයි.ඔය සිලිකන් දාලා පුරවනවට වැඩිය පිරිමි පුරුදු වෙන්ඩ ඕනෙ ලද දෙයින් සතුටු වෙන්ඩ.

පියයුරු ඈත අතීතයේ පටන්ම කලාකාරයින් අමන්දානන්දයට පත් කරලා තියෙනවනෙ.මේකට හංසයෝ වගේ කිව්වේ ඇයි කියලා මටනං තේරුමක් නෑ.අර 'ගාමණි' එකේ කිව්වා වගේ එක්කෝ දෙකම සුදු හින්දා එහෙම නැත්තං දියෙන් කිරි වෙන් කිරීමේ හැකියාව, රුධිරයෙන් කිරි වෙන් කිරීමේ හැකියාවට සමාන කරලා වෙන්ඩත් පුළුවං.හැබැයි ඔය දෙවෙනියට කියපු හේතුව ටිකක් විශ්වාස කරන්ඩ අමාරුයි.මොකද පියොයුරුවල ජීවවිද්‍යාත්මක ගුණයක් විස්තර කෙරෙන උදාහරණයක් සෘංගාරය ජනිත කරවන චේතනාවෙන් යොදා ගනියි කියලා මටනං හිතාගන්ඩ බෑ.හංසයාට අමතරව රන්කුඹු ඒකියන්නේ රත්තරං කළවලටත් උපමා කරලා තියෙනවා.අනේ මන්දා ලංකාවේ රත්තරං පාට ගෑනු හිටියද කියලා.ගිජිඳු කුඹු එහෙම නැත්තං අලියෙකුගේ කුම්බ්ස්තලයටත් සමාන කරපු අවස්ථා තියෙනවා.ගෑනුංව ලැජ්ජාවට පත්කරන්ඩ ඕනෙ උනාම එල්ලෙන වැටකොළු වගේ කියලත් කියලා තියෙනවනෙ.

ඒ විතරක්නං මදෑ ඔය පියොයුරු පහළට වැටෙන්ඩ නොදී පුළුවන් තරං කල් ඉහළම රැක ගන්ඩ ඇඳපු තනපට ගැනත් කියලා තියෙනවනේ.රාහුල හාමුදුරුවො නගර ප්‍රාකාරය සමාන කරන්නේ බැඳලා තියෙන මැණික් තනපටයකටනේ. 'බැඳහල රුවන් තනපට කියෙලිය පවුර' කියලා නෙව ලියලා තිබුණෙ.ලෝක ඉතිහාසය වෙනස් කරන්ඩ දායක වෙච්ච 'මාතාහාරී' කියන ඔත්තුකාරිගේ රහස් සාක්කු සහිත තනපටයක් ගැනත් මොනවා හරි කියෙව්වා මට මතකයි.බලන්ඩ එතනත්, ඕක ඉතිං කවුරුත් අල්ලලා බලන්නැති හින්දා පාවිච්චි කරලා තියෙන්නෙ මොකටද කියලා.පිරිමින්ගේ විශ්වාසය ඝාතනය කරලා නෙව.



ස්ත්‍රී පියයුරක ක්ෂීර නිශ්පාදනයට අවශ්‍ය පටක ප්‍රමාණය පියයුරේ ප්‍රමාණයට සාපේක්ෂකව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ.වැඩි කොටසක් තියෙන්නේ මේදය තැන්පත් වූ පටකයක්.ඒ පටක‍යට නිශ්චිත කාර්යයක් තවම හරියට දන්නේ නෑ.විශ්වාස කරන්නේ ඒ පටකය තියෙන්නේ පියොයුරුවල ප්‍රමාණය විශාල කිරීමට විතරයි කියලා.


ඉතිං මේ හේතුව හින්දයි, අර මම මුළිං කිව්ව දිගටම ප්‍රමාණයෙන් විශාලව තිබීම යන සාධකයයි සහ ඕක දැක්කම පිරිමින්ට කිචි හැදෙන හින්දයි විශ්වාස කරන්නේ මේක හැදිලා තියෙන්නේ ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා.මෙතනදි මම ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා කිව්වට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනයටයි කියලා තමයි විශ්වාස කරන්නේ.මොකද කිරි නිශ්පාදනයට අවශ්‍ය වෙන පටක ටික ඔච්චර ලොකුවට තියෙන්ඩ ඕනේ නැති හින්දා.

දැං ඉතිහාස කථාව.ගොඩාක් ඉස්සර ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මිනිසාගේ සිවුපා පූර්වජයින් මේ ධරණීතලයේ වැජඹෙන කාලේ ඒ අයට දැං වගේ කාමසූත්‍රය කියලා පොතක්වත් ප්‍රජනක ක්‍රියාව සඳහා බහුවිධ ඉරියවු වත් තිබුණේ නෑ.දැනං හිටියේ සහ සිරුරේ පිහිටීමෙන් ඉඩ ලැබුණේ ගැහැණු සතාගේ අපර පැත්තෙන් පිරිමි සතා එළඹීම විතරයි.ඉතිං පිරිමි සතා ආකර්ශනය කරගන්ඩ මේ සත්තුංගේ තට්ටම් ලොකුවට හැදිලා තිබුණලු.මේකෙම විකරණයක් තමයි ඔයලා සත්තුවත්තේ දැකලා තියෙන තාපස බැබුන්ට තියෙන්නේ. රක්ත වර්ණයෙනුත් දීලා තියෙනවා ආකර්ශනය.

ඔන්න ඉතිං පරිණාමයේ කථාව අහලා ඇතිනේ.මිනිස් සතා දෙපාවත් උනා.ඒ දෙපාවත් වීම ඔහුට සැවානා වනාන්තරවල ජීවිතය ජයගන්ඩ හේතු උනාට ප්‍රජනක ක්‍රියාවට වගේම දරු ගැබක් දරාගැනීම වගේ ක්‍රියාවලට යම් යම් අහිතකර බලපෑම් ඇති කළා.සංසර්ගීය ප්‍රවිෂ්ඨයේදී මිනිසාට ඔහුගේ සෘජු කාය නිසා පැරණි අපර දිශාව අමතක කරලා උදරීය දිශාවට යොමු වෙන්න සිද්ද වුනා.ඔන්න එතකොට තට්ටම්වලින් කෙරෙමින් තිබුණු කාර්යභාරය ඒ කියන්නේ ආකර්ශනය භාරගන්ඩ අවයවයක් ඕනෙ උනාලු.ඔන්න වර්ධනය උනා පියයුරු ලොකුවට.


පියයුර වර්ධනය වීම Tanner කියන විද්‍යාඥයා අවධි 5කට දක්වනවා.පැතලි උරස් ප්‍රදේශයක සිට වැඩිහිටි පියයුරු දක්වා වර්ධනය වීම මේ විදිහට අවධිවලට වෙන් කරලා තියෙන පියයුරු වර්ධන අවධි වර්ගීකරණය සිංහලට හරවපුවාම එන්නේ මෙන්න මෙහෙම  අවධි 5ක්,

1. බොත්තං
2. යංතං
3. තං
4. පතං
5. නොපතං



ඉතිං මේ පසු කාලීනව වර්ධනය අවයවයක් වන පියයුරු හා බැඳුණු අසාමාන්‍යතා කීපයක් ගැන අහන්න
ලැබෙනවා. Mammary heterotopia හෙවත් අමතර පියයුරක් හෝ කිහිපයක් පැවතීම.


කුවේණිටත් තිබ්බය කියනවනේ තුනක්ම.මේ අමතර පියයුරු බොහොමයක් වෙලාවට ඇතිවෙන්නේ milk line එහෙම නැත්තං ක්ෂීර රේඛාව දිගේ.ස්ත්‍රී යෝනි ප්‍රදේශයේ සිට කිහිල්ල දක්වා අඳින මනඃකල්පිත රේඛාවට තමයි milk line කියන්නේ.මේ රේඛාවෙන් බැහැරව දණහිස, කළවා, තට්ටම්, කන, මුහුන වගේම බෙල්ලේ උනත් මේ අමතර පියයුර හෙවත් බහිස් ස්ථන ග්‍රන්ථි පිහිටන්න පුළුවන්.

අනිත් තත්ත්වය තමයි පියයුරක් නැති වීම මේ තත්ත්වයට amastia කියලා කියනවා.


ඊටත් අමතරව අව්ප්‍රමාණික පියයුරු එහෙම නැත්නම් නොවැඩුණු පියයුරු සහිත තත්ත්වත් දැකගන්ඩ පුළුවන්.ඒකට hypomastia කියලා කියනවා.
amastia සහ hypomastia තත්ත්ව වලට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කරන්න පුළුවන්.hypomastia තත්ත්වයට ව්‍යායාම වගේ වෙනත් ප්‍රථිකර්මත් තියෙනවා.


පියයුරු කිව්වම වැඩිපුරම කියවෙන්නේ පියයුරු පිළිකා ගැනනේ.ලංකාවේ ගැහැනු අයට හැදෙන පිළිකා අතර අංක එකට ඉන්නේ පියයුරු පිළිකා තමයි.ඒ නිසා කාන්තාවට හෝ ඇයගේ සහකරුට පියයුරක ගැටිත්තක් අහු උනොත් සහ වෙනත් අසාමාන්‍යතාවයක් දකින්න පුළුවන් උනොත් ඒ කියන්නේ,


* තන පුඬුව පියයුර ඇතුලට ඇදී යාම. ( පිටතට නෙරා තිබූ )

* තන පුඬුවෙන් රුධිරය මිශ්‍ර හෝ නොවූ දියරයක් ස්‍රාවය වීම. (කිරි හැර )

* පියයුරෙහි සම දොඩම් ලෙල්ලක් ආකාර ගැනීම. ( pue de orange.....මෙහිදී වර්ණය ගැන සැළකිලිමත් නොවන්න )




* කිහිලිවල කුද්දටි ඇති වීම.


වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි වඩා හොඳ.තරුණ අය අතරේ ඒ කියන්නේ අවුරුදු 40-45 විතර වෙනකං වයස්වල අයට ඇතිවෙනෙ පියුයුරු ගැටිති බොහෝ විට පිළිකාම නොවන හානිකර නොවන තත්ත්වයන් උනත් අපරාදේ අවධානමක් ගන්නවට වඩා පරීක්ෂණයකින් තහවුරු කරගන්න එක හොඳයි නේ නේද? ඔය වයස් කාණ්ඩයෙන් පස්සේ කට්ටියටනං බොහෝ විට පිළිකාමය තත්ත්ව තමයි ඇතිවෙන්නේ.

* පවුලේ පිළිකා ඉතිහාසයක් ඇති අය.
* වයසින් වැඩි අය
* අඩු වයසින් මල්වර වූ අය
* වැඩි වයසින් අර්ථවහරණය සිදුවූ අය
* වැඩ්පුර තෙල් ආහාරයට ගන්න අය

ටිකක් පරිස්සම් වෙන එක හොඳයි.මොකද මේ අයට පියයුරු පිළිකා සඳහා අවධානම වැඩි නිසා.

ස්වයං පියයුරු පරීක්ෂාව (තනියම කරගන්ඩ බැරිනං කාගේ හරි උදව්වක් එහෙම ගත්තට ගැටළුවක් නෑ ) සහ මැමෝග්‍රෑම් පරීක්ෂාවක් එහෙම කරගන්ඩ පුළුවන්නං වඩා හොඳයි.මොකද පියයුරු පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගන්න පුළුවන්නං සුවකරන්න පුලුවං.

අන්තිමට කියන්ඩ තියෙන්නේ කොල්ලනේ උඹලටත් පියයුරු පිළිකා හැදීමේ අවධානමක් තියෙනවා.කොල්ලො කිව්වම ඉතිං අංකල්ලා, සීයලා, බාප්පලා, මස්සිනාලා ඔක්කොටම තමයි.

Tuesday, June 17, 2014

ප්‍රජනන lesson 17


ස්ථිර පවුල් සැලසුම් ක්‍රම



මේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.


ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT  හෙවත් Ligation and Resection of the Tubes කියන නම.

මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම හරහා උපත් පාලනය ලබා දෙනවා.

මේ ක්‍රමය ස්ථිර එකක්.ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ක්‍රමයක්.බැහැ කිව්වට බැරිම නෑ.නමුත් නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරලා ශල්‍යකර්මයක් සිද්ධ කළාට එච්චර සාර්ථක නෑ.ඒ වගේම නැවත සම්බන්ධ කරන තැන පොඩි අවහිරතාවයක් තිබුනොත් තවත් ගැටළුවක් ඇතිවෙන්ඩ පුළුවන්.ශුක්‍රාණු කුඩා හින්දා ඒවට පොඩි අවහිරයෙන් රිංගලා ගිහිල්ලා පැලෝපීය නාළ කෙළවරේදී ඩිම්බය සංසේචනය කරන්ඩ පුළුවන් උනාට ඩිම්බය විශාල නිසා අවහිරයක් තියෙන තැනකින් එන්ඩ අපහසුයි.ඒවගේ වෙලාවට ගර්භාශයෙන් පිටත සිදුවෙන ගැබ් ගැනීම් හෙවත් ectopic pregnancy ඇති වෙන්ඩ අවධානමක් තියෙනවා.මේ තත්ත්වය දරුවට කොහොමත් බලපානවා වගේම අම්මගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්ඩ පුළුවන්.නමුත් මේ අවධානම් ඔක්කොම ඇතිවෙන්නේ නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරන්ඩ ගියොත් විතරයි.ඒ ඇරෙන්ඩ මේ ක්‍රමය නිසා හෝ ශල්‍යකර්මය නිසා මොනවත් බරපතල ආබාධ ඇතිවෙන්නේ නෑ.

නමුත් මේ ක්‍රමයේ වාසි තමයි තමන්ගේ පවුල සම්පූර්ණ කළාට පස්සේ තවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ ක්‍රමය බොහොම ලාභදායී මෙන්ම විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රමයක් වීම.මම දන්න විදිහට තවමත් ස්ථිර පවුල් සැලසුමකට යොමු වෙන කෙනෙකුට රජයෙන් රුපියල් 500ක් දෙනවා.

නමුත් මේ ක්‍රමය ස්ථිර එකක් නිසා ආවට ගියාට මේක වෛද්‍යවරු කරන්නේ නෑ.

  • කාන්තාව අවුරුදු 26ට වඩා වැඩි වෙන්ඩ ඕනේ.
  • අඩුම ගානේ දරුවො දෙන්නෙක්වත් ඉන්ඩ ඕනේ.
  • දෙවෙනි දරුවාට වයස අවුරුදු දෙකකට වඩා වැඩි වෙන්ඩත් ඕනේ.
  • ඒ වගේම ගෑනු කෙනාට මේ ගැන පහදලා දීලා ඇයගේ නිදහස් කැමැත්ත ලැබෙන්ඩ ඕනෙ වගේම 
  • ඇගේ සහකරුවාගේ කැමැත්තත් ලබාගන්න එක අනිවාර්යයි.


මෙය ඉතාකුඩා ශල්‍යකර්මයක් මඟින් සිද්ද කරන්නක්.ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.


  • එකක් තමයි සිසේරියන් සැත්කමකදී දරුවා බිහි කිරීමෙන් පසු ඒ අවස්ථාවේදී පැලෝපීය නාළ ගැට ගසා කපා වෙන් කිරීම.
  • අනිත් එක තමයි උදර බිත්තියේ කුඩා කැපුමක් හරහා සිදු කරන mini-laparotomy නම් ශල්‍යකර්මය.
  • උදර බිත්තිය කපන්නේ නැතුව කුඩා සිදුරු කීපයක් විද කැමරාවක් ඇතුළු කර ඒ ආධාරයෙන් කරන laparoscopy ක්‍රමය.



මෙහි මුලින් සඳහන් කළ ක්‍රමය හැර අනිත් දෙක ඉතාමත් සුළු ශල්‍යකර්ම.උදේට ඇවිත් ශල්‍යකර්මය කරගෙන හවස් වෙද්දි ගෙදර යන්ඩ පුළුවන්.

මේ ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සඳහා ආරක්ෂාවක් ලැබෙන්නේ නම් නෑ.ඒ වගේම මාසික ශුද්ධිය හෙවත් ඔසප් වීමටත් මෙයින් බලපෑමක් වෙන්නේ නෑ.





වාසෙක්ටමි හෙවත් පුරුෂයාට සිදු කරන ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයෙත් ටියුබෙක්ටමි ක්‍රමයේ වගේම වාසි තියෙනවා.ඒ වගේම මේ ක්‍රමයත් නැවත යථා තත්ත්වයට පත් කරන එක ලේසි නෑ වගේම එච්චර සාර්ථකත් නෑ.

මේකෙදි සිද්ධ කරන්නේ මේ කළිං ලිපියෙදි විස්තර කරපු ශුක්‍ර නාල කපලා ගැට ගහන එක.විනාඩි දහයක් විතර යන බොහොම පුංචි ශල්‍යකර්මයක් නිසා ඉස්පිරිතාලේ නවතින්ඩ ඕනෙත් නෑ.

මේක කරන්ඩත් LRT කරනවා වගේ දරුවො දෙන්නෙක්වත් ඉඳීම, දෙවෙනි දරුවා අවුරුදු දෙකට වඩා වැඩි වීම අවශ්‍යයි වගේම සහකාරියගේ වයස 26ට වඩා වැඩි වීම අවශ්‍ය වෙනවා.

මේක ගොඩක් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් උනාට මේ ශල්‍යකර්මය කරපු ගමන් මේකේ ප්‍රථිපල ලැබෙන්නේ නෑ.ශුක්‍රාණු කියන්නේ ඩිම්බයක් වගේ එකක් දෙකක් හැදෙන දෙයක් නෙමෙයිනේ.මිලියන ගණන්වලින් හැදෙන නිසා මේ ශුක්‍ර නාළ මඟින් කැපුවට එයින් ඉහළ ඉතුරු වුනු ශුක්‍රාණු සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන්ඩ මාස තුනක්වත් යනවා.ඒ නිසා මාස තුනක් විතර යනකම් වෙනත් උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්ඩ වෙනවා.ඒ වගේම මාස තුනකට පස්සේ ශුක්‍ර තරල පරීක්ෂාවක් (seminal fluid analysis) කරලා ශුක්‍රතරලය ශුක්‍රාණුවලින් තොර බව තහවුරු කරගන්ඩ සිද්ද වෙනවා.මේක එච්චර වියදමක් හෝ අපහසුවක් ඇති පරීක්ෂණයක් නෙමෙයි.කරන්ඩ තියෙන්නේ දවස් තුනක් සංසර්ගයේ යෙදීමෙන් සහ ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී ඉඳලා අදාල ලැබ් එකෙන් ලබා දෙන පුංචි භාජනයට ශුක්‍ර තරලය එකතු කරලා ලැබ් එකට ගිහින් දෙන එක.මේ ශුක්‍ර තරලය ලබා ගන්ඩ ඕනේ තනියෙන් මහන්සි වෙලා කියලා මතක් කරන්ඩ කැමතියි.

මේක කරපුවාම තමන්ගේ ලිංගික හැකියාව අඩුවෙයි කියලා බය වෙන්ඩ ඕනේ නෑ.එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද වෘෂණවල හෝමෝන නිපදවීමට මේ ක්‍රමය කිසිම බාධාවක් කරන්නේ නැති නිසා.ඒ වගේම සුරාන්තයේදී ශුක්‍ර තරලය නිකුත් වීමත් සිද්ද වෙනවා.ඒක නවතින්නෙත් නෑ.එකම වෙනස මේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති වීම විතරයි.

ඒ වගේම මේ ක්‍රමයෙනුත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලටනම් ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.


ඔන්න ඉතිං උපත් පාලන ක්‍රම ගැනත් මම දන්න ටික ඉවරයි.ඊළඟට ටිකක් භයානක වගේම දැන ගැනීම ඉතාමත් වැදගත් 'ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග' ගැන කතා කරමු.හැබැයි ඉතිං මට වෙලාවක් ලැබෙන හැටියට තමයි ඈ.........

ප්‍රජනන lesson 16


හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?.

අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසුභාවයට පත් කිරීම හරහා උපත් පාලනය සිද්ද කරවනවා.කූරු හයක් සහිතව වෙළඳපොලට ආව නෝප්ලාන්ට් දැන් භාවිතා වෙන්නේ නෑ.දැන් ප්‍රචලිතම වෙළඳනාමය තමයි 'ජඩෙල්' කියන්නේ. ජඩෙල්වල තියෙන්නේ කූරු දෙකක් විතරයි.මේ කූරු බොහොම නම්‍යශීලී ඒවා නිසා කිසිම අපහසුවක් දැනෙන්නේ නෑ.ඒ වගේම මේවා තැන්පත් කිරීමේදී අදාල ප්‍රදේශය හිරිවැට්ටීමට ලක් කරන නිසා වේදනාව පිළිබඳ ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ.

ඇඟිලි දෙක මැදින් අතේ හමට යටින් තියෙන පුංචි කූර පේනවද?


දැනට තියෙන උපත්පාලන ක්‍රම අතරින් ආරක්ෂිතම ක්‍රමයක් විදිහට ජඩෙල් හඳුන්වන්න පුළුවන්.ඒක ගැබ් ගැනීමකට එරෙහිව 99.9%ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා.මෙය ගර්භාශයේ සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරනවා වගේම ඔසප් වීමේදී වේදනාව ඇතිකරවන එන්ඩොමෙට්‍රියෝසිස් නම් තත්ත්වයට ප්‍රථිකර්මයක් විදිහටත් යොදාගන්ඩ පුළුවන්.නමුත් මේත් එක්ක ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්.ඔසප් වීම නැවතුනා කියලා ශරීරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා ඒ ගැනනම් බය වෙන්ඩ ඕනේ නෑ.ඒ වගේම මේ ක්‍රමයෙදිත් ආහාර රුචිය වැඩි වීම නිසා මහත් වීම සිද්ධ වෙන්ඩ පුළුවං.කෑම පාලනය සහ ව්‍යායාම මඟින් ඒ තත්ත්වය පාලනය කර ගන්ඩ හැකියාව තියෙනවා.මේක අවුරුදු පහක් ක්‍රියාත්මක වෙනවා.පෙති ගන්නවා වගේ දවස ගානේ ගන්ඩ සිද්ධ නොවීම මේකේ තවත් වාසියක්.ඒ වගේම මේක අවශ්‍ය වෙලාවකදි ඉවත් කර ගත්තම බොහොම කෙටි කාලෙකින් නැවත් ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

මේකේ මිලනම් ටිකක් වැඩියි.රුපියල් 6000ක් විතර වෙනවා.ඒ වගේම තැන්පත් කරගන්ඩත් තව 2000ක් විතර ගියොත් ඔක්කෝටම රු.8000ක් විතර යනවා.නමුත් මේක අවුරුදු පහක් ක්‍රියාත්මක නිසා සතියක වියදම රුපියල් 30ක් වගේ ගාණක් වෙන්නේ.සතියකට තුන් පාරක් ලිංගිකව එක්වෙන දෙන්නෙකුට කොන්ඩම්වලට යන වියදමම තමයි ජඩෙල් එකක් දැම්මත් යන්නේ.






ජඩෙල් ගැන අහලා නැති උනාට ලූප් ගැනනම් කවුරුත් වගේ අහලා ඇති කියලා හිතනවා.ලූපය එහෙම නැත්තං IUCD කියන්නේ ගර්භාශය ඇතුලේ තැන්පත් කරන පුංචි ප්ලාස්ටික් කෑල්ලක්.මේ වගේ බාහිර ද්‍රව්‍යයක් තියෙන කොට ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන ප්‍රතික්‍රියා නිසා ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ.ඉස්සර විවිධ හැඩතලවල ලූප් භාවිතා කළාට දැන් බහුලව භාවිතා කරන්නේ 'T' අකුරක හැඩය ගත්තු ලූප්.

විවිධ හැඩවලින් යුක්ත ලූප්


ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ 'කොපර් T' කියන ලූපය.මේකේ ප්ලාස්ටික් කෑල්ලේ තඹ කම්බියක් ඔතලා තියෙනවා.මේ තඹවලට තියෙනවා ශුක්‍රාණු වගේම ඩිම්බත් විනාශ කිරීමේ හැකියාවක්.මේ කොපර් T කියන ලූපය රුපියල් 400ක් විතර තමයි වෙන්නේ.ඒ වගේම රජයේ රෝහල්වලින් සහ පවුල් සැලසුම් සායනවලින් මේක නොමිලේ ලබා දෙනවා වගේම තැන්පත් කරලත් දෙනවා.කොපර් T එකක් සාමාන්‍යයෙන් අවුරුදු දහයක් වගේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවං.ඒ වගේම මේක ඉවත් කරපු ගමන් නැවත ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.ගැටළුවක් විදිහට මම දකින්නේ සමහරුන්ට තමන් ලූපයක් දාගෙන ඉන්නේ කියලා අමතක වෙන එක.ඒකෙ ඉතිං ලොකු ගැටළුවක් නෑ.නමුත් වැඩිපුර ඔසප් රුධිරය පිට වීම නම් ඇතිවෙන්ඩ පුළුවන්.ඒකත් ටික දවසකින් සාමාන්‍ය තත්ත්වයට හැරෙන්ඩ පුළුවන්.ඒ වගේම මේකේ හෝමෝන අඩංගු නැති නිසා මහත් වෙන්ඩ තියෙන හැකියාවත් අඩුයි.

කොපර් T ලූපය

මේක ගර්භාශයට ඇතුල් කරන්නේ ඒ සඳහා පුහුණුව ලබපු තැනැත්තෙකු විසින්.ඒ සඳහා මිනිත්තු පහක් දහයක් වගේ බොහොම සුළු කාලයක් තමයි ගත වෙන්නේ.ලූපය දැම්මට පස්සේ ගර්භාශයේ ඉඳං ගැබ්ගෙල හරහා යෝනි මාර්ගය ඇතුලට පුංචි නූලක් පැමිණ තියෙනවා දකින්න පුළුවන්.මේ නූල එළියට පේන්නේ නෑ.තමන්ටම යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරලා බලන්ඩ පුළුවන්.ඉඳලා හිටලා එහෙම පරීක්ෂා කරලා බලන එක හොඳයි.මොකද කළාතුරකින් ලූපය ඉවතට හැලෙන්න පුළුවන්.එහෙම උනොත් උපත් පාලනය සිද්ධ වෙන්නෙ නෑනේ.ඒ නිසා විශේෂයෙන් ඔසප් වීමෙන් පස්සේ නූල යෝනි මාර්ගය තුල අහුවෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක හොඳයි.ඒ වගේම කියන්ඩ ඕනෙ දෙයක් තමයි මේ ලූපය නිසා ලිංගික කාර්යට කිසිම බාදාවක් වෙන්නේ නෑ.




තවත් වැදි දියුණු කළ ලූප් වර්ගයක් තමයි මිරේනා කියන වෙළඳ නාමය යටතේ එන්නේ.මේ ලූපයේ තඹ අඩංගු වෙන්නේ නැති උනාට දවසකට ඉතාම කුඩා ප්‍රමාණයකින් ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය නිදහස් කරන්ඩ හැකියාවක් තියෙනවා.ඒ හෝමෝන ගර්භාශය මත සෘජුවම ක්‍රියා කරන හින්දා ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට හෝමෝනයෙන් වෙන බලපෑම ඉතාම අඩුයි.මිරේනා එකක් අවුරුදු පහක් පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී ඇතිවෙන වේදනාව වගේම ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරන්ඩත් ප්‍රථිකර්මයක් විදිහට බාවිතා කරන්ඩ පුළුවන්.මේකේ අතුරු අබාධ අඩු නිසාම ගාණ නම් ටිකක් සැරයි.මිරේනා එකක් සාමාන්‍යයෙන් රුපියල් 25000-27000ක් විතර වෙනවා.ඒත් ඉතින් ගන්ඩ පුළුවන්නම් ගොඩක් හොඳ උපත් පාලන ක්‍රමයක්.අනිත් හැම අතින්ම වගේ කොපර් T එකට සමානයි.

මිරේනා



ඔන්න දැං තමයි වැදගත්ම එක ගැන කියන්ඩ යන්නේ.හොඳට කියවලා මතක තියාගන්ඩ ඕනේ මේක ගැන නම්.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකින් පස්සේ, ඒ කියන්නේ කිසිම උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකර හදිසි තීරණ මත සිද්දවෙන ලිංගික ක්‍රියාවකට පස්සේ මොනවද කරන්ඩ පුළුවං??


මේකට ගන්ඩ පුළුවං ආරක්ෂක ක්‍රම කිහිපයක් තියෙනවා.එකක් තමයි 'ප්‍රොස්ටිනෝර්-2' කියන්නේ.මේ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවැත්තුවට පස්සේ ගැබ් ගැනීම වලක්වන්ඩ ගන්නා පෙති වර්ගයක්.මේකෙන් ගබ්සා වීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.ඒක හින්දා තමුන් ගැබ් ගත්තට පස්සේ මේක බොන්න යන්න එපා.ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම් වගේම ජීවිතේටත් ලොකු තර්ජනයක්.ඒ නිසා ගබ්සාවක් දක්වා යන්ඩ කලින් ගැබ් ගැනීම වලක්වා ගත්තොත් හොඳයිනේ.අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ.ඒ නිසා හොඳම දේ තමයි හදිස්සි නොවී හැම තිස්සේම ලිංගික සම්බන්ධයක් මනා සැලැස්මක් සහිතව පවත්වන එක.උදාහරණයක් විදිහට බැඳපු දෙන්නෙක් නම් අසල්වැසියන්ගෙන් නෑදෑයින්ගෙන් වගේම ළමයින්ගෙනුත් කරදරයක් නැති නිදහස් තමුන්ගෙම කියලා වෙලාවක් කළිං ඉඳං සැලසුම් කරගෙන හොඳ උත්තේජනයක් යටතේ එකතු වෙනවානම් උපත් පාලන ක්‍රමය අමතක වෙන්නේ නෑනේ.නොබැඳපු දෙන්නෙක් නම් ඒකත් කාටවත් අහු නොවෙන තැනක් කළිං සැලසුම් කරගෙන වෙලාවක් වෙන් කරගෙන එහෙම ලෑස්ති වෙනවා නම් උපත්පාලන ක්‍රමයක් අමතක වෙන්නේ නෑනේ.

හරි ඔන්න නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිද්ධ උනා කියමුකෝ.එතකොට තමයි මේ ප්‍රොස්ටිනෝර්-2 කියන පෙති පාවිච්චි කරන්ඩ ඕනෙ.මේ පෙති පැකට්ටුවක තියෙන්නේ පෙති දෙකක් විතරයි.ලිංගික සම්බන්ධතාවයෙන් පස්සේ හැකිතරම් ඉක්මනට එක පෙත්තක් ගන්ඩ ඕනේ.පරක්කු වෙන්ඩ වෙන්ඩ මේ පෙත්තෙන් ලැබිය හැකි ආරක්ෂාව අඩු වෙනවා.පැය 72ක් ඒ කියන්නේ දවස් තුනක් ඇතුලත ගත්තොත් ප්‍රථිපලය හොඳයි.පැය 24ක් ඇතුලත ගන්ඩ පුළුවන්නම් ප්‍රථිපලය වඩාත් හොඳයි.ඊටත් පරක්කු වෙන්ඩ වෙන්ඩ ප්‍රථිපලය අඩු වෙලා යනවා.හැකි ඉක්මනින් එක පෙත්තක් අරගෙන පැය 12කට පස්සේ අනිත් පෙත්ත ගැනීම හෝ පෙති දෙකම එකවර අර ගැනීම හෝ කරන්ඩ පුළුවන්.

පෙත්තක් අරගෙන පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් නැවත පෙත්තක් අරගන්ඩ ඕනේ.පෙති දෙකම ගත්තු වෙලාවක පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් පෙති දෙකක්ම ආපහු ගන්ඩ ඕනේ.

ප්‍රොස්ටිනෝර්-1 කියලත් පෙති ජාතියක් තියෙනවා.ඒකේ තියෙන්නේ පෙති එකයි.හැකි ඉක්මනින් ඒ පෙත්ත ගන්න එක තමයි කරන්ඩ තියෙන්නේ.එහෙම නැත්තං මිතුරි පෙති පැකට් එකක් අරගෙන ඒකේ කහ පාට පෙතිවලින් හතරක් හැකි ඉක්මනින් අරගෙන පැය දොළහකට පස්සේ තවත් හතරක් අරගන්න එකත් කරන්ඩ පුළුවං.


මෙතනදි මතක තියාගන්ඩ ඕනේ දේ තමයි මේක දිගින් දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්ඩ හොඳ නෑ.මොකද මේකෙදි හෝමෝන විශාල ප්‍රමාණයක් සිරුරට මුදා හැරෙනවා.ඒකෙන් ඇතිවන අතුරුඵල එච්චර හොඳ නෑ.හැම දෙයක්ම එහෙමයිනේ.සීනි ටිකක් කෑවම රසයි ඇඟට හොඳ ශක්තිය ලබා දෙන දෙයක් උනාට සීනි ගොඩ ගොඩ ගොඩක් කල් කෑවොත් දියවැඩියාව හැදෙන්ඩ ඉඩ තියෙනවා වගේ මේකත් එහෙමම තමයි.

තවත් ක්‍රමයක් තමයි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ ඉක්මනින්ම ගිහිල්ලා ඒ වෙනකොටත් ගර්භනී නොවන බව තහවුරු කරගෙන ලූපයක් දාගන්ඩ පුලුවන්.ඒකෙන් ඒ වෙලාවේ ගැබ් ගැනීම නවතිනවා වගේම ඉස්සරහටත් ආරක්ෂාවක් ලබා දෙනවනේ.ප්‍රොස්ටිනෝර් ගත්තත් වෙනත් උපත් පාලන ක්‍රමයකට යන එක තමයි හොඳ.

ප්‍රොස්ටිනෝර්-1 පෙත්තක් රුපියල් 150ක් විතර වෙනවා.ප්‍රොස්ටිනෝර්-2 පෙති දෙකක් තියෙන පැකට් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ.මිතුරි පැකට් එකක් රුපියක් 100ක් විතර උනාට රජයේ තැන්වලින් ගොඩක් අඩු මිලට ගන්ඩ පුළුවන්.

ප්‍රජනන lesson 15








අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.




ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම දේකදිම වගේ මේකෙදිත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පස්සේ මේකේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක ඒ නීති ලිහිල් වෙනවා.දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්ඩ තියෙනවා.



කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.

කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි.මේ කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.

කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.


ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.






දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.


හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්‍ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.

ඒ වගේම මේක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්‍රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්‍රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්‍ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්‍ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.

ගුද සංසර්ගයේ දී සාමාන්‍ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.ඒ වගේම කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ.

තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්‍ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.

ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.



කාන්තා කොන්ඩමය

මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.




මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.